Skip links

වැඩ කරන ජනයාට වැඩක් නැති අයවැයක්.

2022 වර්ෂය ඉලක්ක කර ගනිමින් රජය ඉදිරිපත් කළ අයවැය නිදහස් වෙළඳ කලාපය ඇතුළු සියලු අංශවල වැඩ කරන ජනයාට සහන ලබා නොදෙන අයවැයක් බව ඩාබිඳු සාමූහිකය පවසයි. ජීවන වියදම ඉහළ ගොස් කොවිඩ් 19 වසංගතය හමුවේ බරපතල අර්බුද රැසකට වැඩ බිම්වල ජනයා මුහුණ දෙමින් සිටියදී කළමනාකරණයේ අසමත් බව මිස වෙනත් යමක් පෙන්වීමට රජය අපොහොසත්ව ඇත. ඒ අනුව වැටුප් වැඩිවීම් හෝ වෙනත් මූලික සහන ලබා දීමක් මෙවර අයවැයෙන් සිදුව නැත.

මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පහත වැටී දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දෙමින් සිටී. දැනට එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු හෝ පවත්වා ගෙන යනු ලබන්නේ ඇගලුම් කර්මාන්තය ඇතුළුව නිදහස් වෙළඳ කලාපයේ නිපැයුම් අපනයනයෙන් ලැබෙන ඩොලර් ආදායමෙනි. එවැනි පසුබිමක එම ඉපැයුම්වලට දායක වන නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් තිරසාර සහන ලබා දීමට රජය මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කළ බව ඩාබිඳු සාමූහිකය පවසයි. 

2020 වසරට සාපේක්ෂව 2021 වසරේ ඇගලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 150කින් පමණ වැඩි වී ඇත. ඒ ලක්ෂ 03කට ආසන්න නිදහස් වෙළඳ කලාප ශ්‍රමිකයන්ගේ කැපවීම නිසාය. වසංගත පීඩාවන් මැද මේ ශ්‍රමිකයන්ට උපහාර දක්වා ඇත්තේ සහන සැළසීමෙන් නොව වැටුප් කප්පාදුව හා වැඩකරන පැය ගණන වැඩි කිරීමෙනි.

ඉල්ලා සිටියත් ඇහුම්කන් නොදුන් සහන ඉල්ලීම්

මේ වන විට මෙරට පුද්ගලික අංශයේ සේවකයන් සඳහා වන අවම වැටුප රුපියල් 16000 ක මුදල රුපියල් 26000 දක්වා වැඩි කරන මෙන් ඉල්ලා තිබුණද ඒ ගැන කිසිම අවධානයක් දැක්වීමට ක්‍රියා කර නැත. අයවැය සහන දීමනාව ලෙස ඇගලුම් සේවකයන්ට ලැබෙන්නේ රුපියල් 3500 කි. එය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලීම් කළද එම ඉල්ලීමද ඉටු ව නැත. 

කොවිඩ් වසංගත නිරෝධායන පහසුකම් වැඩි දියුණු කරන මෙන් දිගින් දිගටම කළ ඉල්ලීම් මෙන් ම නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරන මෙන් කළ ඉල්ලීම් ද කිසි සේත් සළකා බැලීමට ආණ්ඩුව උනන්දු වී නැත. එබැවින් මේ අයවැය වැඩකරන ජනයා අමතක කළ අයවැයක් බව ඩා බිඳු සාමූහිකය අවධාරණය කරයි. 

Leave a comment

  1. A budget that does not work for working people. – Dabindu Collective
    Permalink
This website uses cookies to improve your web experience.