Skip links

ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලුව මාර්තු 19

ඩා බිඳු සාමූහිකය මෙහෙයවන ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලු මාලාවේ දෙවැන්න මාර්තු 19 වැනිදා පැවැත්වේ. නිදහස් වෙළඳ කලාපවල සේවය කරන ශ්‍රමික පිරිස් ඉලක්ක කරගත් මෙහි පළමු වැඩමුලුව කටුනායකදී පැවැත්විණ. මෙම වැඩමුලු මාලාවේ සම්පත් දායකත්වය ග්රාස්රූට් ට්‍රස්ට් හී පබා දේශප්‍රිිය විසිනි. මීගමුවේදී පැවැත්වෙන දෙවන වැඩමුලුවෙදී සිවිල් සංවිධාන සාමාජිකයන් දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ. එහි අරමුණ ප්‍රජනන සෞඛ්‍ය හා ඊට අදාල අයිතීන් ආශ්‍රිත ගැටලුවලදී නිදහස් වෙළඳ කලාප ශ්‍රමිකයන්ට උපදේශන සේවා සැපයීම සඳහා පහසුකාරක ජාලයක් නිර්මාණය කිරීමයි. 

මෙම වැඩමුලු පැවැත්වීමේ අරමුණු පැහැදිලි කරමින් ඩා බිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පවසන්නේ නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිතව ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ බරපතල ගැටලු පවතින බවයි. “වයස අවුරුදු 18-19 වගේ ගැහැණු ළමයි වෙළද කලාපයට ආවම අනවබෝධය නිසා හදිසි ගැබ් ගැනීම්වලට භාජනය වෙනවා. ගමක වසරක් තුළ වාර්තාවන ගැබ් ගැනීම් ගණනට වඩා මේ කලාපයේ ඒ තත්ත්වය ඉහළයි. සමීපස්ථ අයගෙන් කාන්තාවන් අතවරයට පත් වෙනවා. විවාහ නොවී එකට ඉන්න පිරිසත් වැඩියි.” යනුවෙන් පවසන චමිලා පෙන්වා දෙන්නේ ප්‍රජනන සෞඛ්‍ය අයිතීන් ගැන දැනුවත් වීම කාලීන අවශ්‍යතාවයක් බවයි.  

නිදහස් වෙළඳ කලාපයේ බොහෝ යුවතියන්ට පෝෂණීය ආහාරවේලක් ලබා ගැනීමට අවස්ථාවක් නැති අතර එය ගර්භනී අවස්ථාවේ අනවශ්‍ය අවදානමක් ඇති කරයි.  මේ වනවිට ඇගලුම් කර්මාන්තයේ සේවයේ නිරත කතුන්ගෙන් සියයට 60ක් රක්ත හීනතාවයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත. තමන්ගේ ප්‍රජනන සෞඛ්‍ය ගැන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වැනි රාජ්‍ය ආයතනවලින් උපදෙස් හා සේවා ලබා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වන්නේද අඩුවෙනි.  ඒ කර්මාන්ත ශාලා නිවාඩු ලබා දෙන ඉරිදා දිනය රජයේ ආයතන වසා ඇති දිනයක් වන බැවිනි. 

Leave a comment

This website uses cookies to improve your web experience.