Skip links

“ඇඟලුම් ශ්‍රමිකයන්ගේ අයිතීන් ගැන අවධානය යොමු කරන්න”. ඩා බිඳු සාමූහිකය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි.

ඇඟලුම් ශ්‍රමිකයන් වසංගත තත්ත්වය තුළ සේවයට කැඳවීමේදී අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීම හා සෞඛ්‍ය සේවා සුපරීක්ෂණය ප්‍රමාණවත් අන්දමින් සිදු නොවන බව ඩා බිඳු සාමූහිකය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සමග පැවති හමුවකදී අවධාරණය කරයි. එසේම කොවිඩ් 19 රෝගයට ගොදුරු වන ශ්‍රමිකයන් නිරෝධානයට භාජනය කිරීමේදී දුර්වලතා දක්නට ලැබෙන බවත් ඩා බිඳු සාමූහිකය මෙම හමුවේදී අවධාරණය කළේය. බොහෝ අවස්ථාවල නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමිකයන් නිරෝධායනය සඳහා යොමු කර ඇත්තේ උතුරු පළාතේ හමුදා කඳවුරු ආශ්‍රිතවය. කෙටි නිරෝධායන කාලයකින් පසු ඔවුන්ගේ නවාතැන් වෙත යළි කැඳවා ගෙනෙන මෙම පිරිස් වෙත අවම පහසුකම් යටතේ ජීවත් වන්නට සිදු වේ.  එහිදී සෞඛ්‍ය බලධාරීන් ඔවුන් පිළිබඳ නිසි පරිදි සොයා නොබලන බව පවතින පොදු චෝදනාවයි. එසේම නැවත කෙටි කාලයක් තුළ සහ සනීපාරක්ෂාව තහවුරු නොකළ වාතාවරණයක සේවයට වාර්තා කරන්නටද ඔවුන්ට සිදු වේ. 

මෙහිදී මානව හිමිකම් කොමිසම සඳහන් කළේ තමන් පැරිසි ප්‍රඥාප්තියට අනුව කටයුතු කරන වගකිව යුතු ව්‍යුහයක් බවයි. මේ වන විට ක්‍රියාකාරීව පවතින්නේ ශ්‍රී ලංකාවේ 07 වැනි මානව හිමිකම් කොමිෂන් සභාවයි.  ඩා බිඳු සාමූහිකය ඇතුළුව ප්‍රජා මට්ටමේ මානව හිමිකම් ක්‍රියාධරයින් කිහිපදෙනෙකු සහ සංවිධාන කිහිපයක් මෙම හමුවට සහභාගී වූහ.

මහජනයාට වඩාත් ක්‍රමවත්ව අන්තර්ජාලය ඔස්සේ සේවා ලබා ගැනීමට පහසුකම් දියත් කර ඇති බව මෙහිදී මානව හිමිකම් කොමිසම පෙන්වා දුන්නේ ය. එසේම බන්ධනාගාර රැඳවියන්ට සිය පවුල්වල සාමාජිකයන් සමග සන්නිවේදනය කිරීමට පහසුකම් සැපයීම පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ.

මෙම හමුවට සහභාගී වූ නීතීඥ ලක්ෂාන් ඩයස් ඉල්ලා සිටියේ තම ධූර කාලය කීර්තිමත් ලෙස නිමා කිරීමට කොමිසමේ සාමාජිකයන් ක්‍රියා කළ යුතු බවයි.

ඩා බිඳු සාමූහිකය වෙනුවෙන් හමුවට සහභාගී වූ චමිලා තුෂාරි අවධාරණය කළේ රාජ්‍ය අංශය සේවක කැඳවීම් සීමා කර තිබියදී ඇගලුම් කර්මාන්තය සමස්ත සේවක පිරිස සේවයට කැඳවන බවයි. එම නිසා වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් නිර්මාණය වී ඇත. එසේම වසංගතයට ගොදුරු වූවන් නිරෝධායනය කිරීමේදීද ගැටලු ගණනාවක් පැන  නැගී ඇති බව ඇය පැවසුවාය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් ඉල්ලා සිටි සෞඛ්‍ය කමිටු මේ දක්වා පිහිටුවා නැත. කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක බලකාය බොහෝ අවස්ථාවල සවන් දෙන්නේ සමාගම් හිමිකරුවන්ට පමණක් යැයිද චමිලා තුෂාරි  මෙහිදී පැවසුවාය.  සිව් වසරක් සඳහා වන මානව හිමිකම් ජාතික සැලැස්ම සඳහා කම්කරු නියෝජනය සඳහා තමන් පත් කර ඇති නමුත් එහිදී සාකච්ඡා කරන ලද කරුණු ක්‍රියාත්මක නොවූ බවද ඇය පෙන්වා දුන්නාය.

Leave a comment

This website uses cookies to improve your web experience.