Skip links

ඩා බිඳු සුව සත්කාරක සේවා. නිදහස් වෙළඳ කලාපයේ දිරි ස්ත්‍රීන්ට සහනයක්.

ඩා බිඳු සාමූහිකය සංවිධානය කරන ඩා බිඳු සුව සත්කාර සේවාව අද ඔක්තොම්බර් 24 වන දා කටුනායක ඩා බිඳු සාමූහිකයේ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් 150කට ආසන්න පිරිසක් සහභාගි වූ මේ වැඩසටහන සඳහා සෞඛ්‍ය සේවා සහාය සම්පාදනය කරන ලද්දේ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයයි. සෑම වසරකම නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් ඉලක්ක කර ගනිමින් මෙම සුව සේවා සත්කාරක වැඩසටහන පවත්වනු ලබන අතර එහි අරමුණ අවස්ථාවන් සහ පහසුකම් අහිමි ශ්‍රමික කතුන්ට සෞඛ්‍ය සායනික පහසුකම් සම්පාදනයයි.

“ඩා බිඳු සාමූහිකය කල්පනා කරන්නේ අපේ වගකීමක් මේ වැඩකරන කතුන් ගැන හොයලා බලන එක කියලා. එහිදී ඔවුන්ගේ කායික මානසික නිරෝගී බවත් අපේ සැළකිල්ලට භාජනය වෙනවා. ඈත ගම්දනව්වලින් නිදහස් වෙළඳ කලාපයට ඇවිල්ලා වැඩ කරන මේ කාන්තාවන්ට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොයා බලන්න වෙලාවක් නැහැ. පහසුකම් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි හැම අවුරුද්දකම මේ වැඩසටහන සංවිධානය කරල ඔවුන්ට අවශය පහසුකම් සපයනවා.” යැයි අද පැවති සුව සත්කාරක සේවා වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් කළමනාකරු චමිලා තුෂාරි පැවසුවාය.

වැඩ කරන දවස්වල පෝලිම්වල ඉඩක් නැත

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මේ ශ්‍රමික කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කැප වී ක්‍රියා කරන නමුත් ගැටලුව වන්නේ සතියේ දිනවල අදාල සායන පැවැත්වීමයි. සතිය පුරාම සේවයට වාර්තා කරන මේ කාන්තා ශ්‍රමිකයන්ට කිසිදු සායනයකට සහභාගි වීමට අවස්ථාව ලැබෙන්නේ නැත.  බොහෝ විට කර්මාන්ත ශාලාවල නිවාඩු දිනය වන ඉරිදා දිනය පමණක් කාන්තා ශ්‍රමිකයන්ට තමන්ගේ සෞඛ්‍යයට අදාල ගැටලු පිළිබඳ උනන්දු වීමට ඉඩ ලැබෙන නමුත් එහිදී මුහුණ දෙන්නට සිදුවන ගැටලුව වන්නේ ඉරිදා දිනය නිවාඩු දිනයක් වීම සහ සායන සඳහා පොදුවේ වෙන් කර නොතිබීමයි. එබැවින් සෑම වසරකම මෙවැනි කාර්යයක් සඳහා පහසුකම් හා සම්බන්ධීකරණ දායකත්වය සැපයීමට ඩා බිඳු සාමූහිකය ඉදිරිපත් වෙයි. විශේෂයෙන් මෙවර කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මෙම කතුන්ගේ සෞඛ්‍යයට එල්ල වූ සෙසු තර්ජන පිළිබඳවද සොයා බැලීමට සිදු විය. ඒ අනුව කොවිඩ් 19 රෝගය වැළඳීම නිසා එන්නත්කරණයට භාජනය වීමට නොහැකි වූ කතුන්ට එන්නත් ලබා දීම ද මීට සමගාමීව සිදු විය.

“ඇත්තටම මෙහෙමයි, කොවිඩ් හැදුණු නිසා එන්නත්කරණය කරපු නියමිත දවස්වල ඒවට සහභාගි වෙන්න බැරි වුණු පිරිසකුත් මේ නිදහස් වෙළඳ කලාපේ හිටියා. අපිට ඩා බිඳු සාමූහිකය විදියටත්, ඩා බිඳු සාමූහිකයේ වෘත්තීය සමිතිය විදියටත් වුවමනාවක් තිබ්බා ඒ වගේ කාන්තා ශ්‍රමිකයන්ට එන්නත් ලබාදෙන්න. ඉතිං සෞඛ්‍ය අංශවල සහයෝගයෙන් අපි අද ඒ වෙනුවෙනුත් ඉඩ වෙන් කර ගත්තා. මෙහිදී අපි ස්තූතිවන්ත වෙනවා කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට ඒ ගැනත් උනන්දුවෙන් සොයා බලා කටයුතු කිරීම ගැන” යැයි චමිලා තුෂාරි එන්නත්කරණය සඳහා ලද සහය අගය කරමින් පැවසුවාය.

මේ මාසය පියයුරු පිළිකාව ගැන උනන්දු වන මාසයයි

සෑම වසරකම ඔක්තොම්බර් මාසය පියයුරු පිළිකාව වළක්වා ගැනීමේ කෘත්‍යය සඳහා වෙන් කළ මාසය ලෙස සැළකෙයි. එම නිසා පියයුරු පිළිකා හඳුනා ගැනීම, ඒවා වළක්වා ගැනීම සහ ප්‍රතිකර්මවලට යොමු වීම ආදී කෘත්‍යය සඳහා ඔක්තොම්බර් මාසයේදී අවධානය යොමු කරනු ලැබේ. කාන්තාවන්ට මාරකයක් ව ඇති පියයුරු පිළිකා හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණද අද සුව සත්කාරක සේවාවේ දී සිදු කරනු ලැබූ අතර පියයුරු ස්වයං පරීක්ෂාව පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ක්‍රියා කළේය. සෑම කතුන් 25 දෙනෙකුගෙන්ම අයෙකු පියයුරු පිළිකාවට ගොදුරු වීමේ අවදානමක් ඇති බව ප්‍රකාශිත සමයක තමන් ලද පුහුණුව හා අවධානය ඉතා වැදගත් බව සෞඛ්‍ය සායනවලට සහභාගි වූ කාන්තා ශ්‍රමිකයන් ද පැවසීය.

අද පැවති වැඩසටහනෙහි දී කාන්තාවන් අතර සුලබ ගැබ් ගෙල පිළිකා හඳුනා ගැනීමට අදාල පැප් පරීක්ෂණ ද සිදු කළ අතර  සායනවලට සහභාගි වූ කතුන් පැවසුවේ එම අවස්ථාව ඉතා අගනා බවයි. නිදහස් වෙළඳ කලාපයේ කතුන් සඳහා එවැනි පරීක්ෂණ සිදු කිරීමට විශේෂිත සායන හෝ පහසුකම් නොමැති අතර එමනිසා ඔවුන් අවදානමට ගොදුරු වීමේ අවස්ථා ද තිබේ. ඩා බිඳු සාමූහිකය පසුගිය වසරේ සිදු කළ සායනයේදී තදබල ලෙස අවදානමට ලක් ව සිටි කාන්තා ශ්‍රමිකයන් කිහිප දෙනෙකු හඳුනා ගත් අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම ද සිදු විය.

“මේ වැඩසටහන්වල දී අපි ප්‍රජනන සෞඛ්‍ය ගැනත් ඔවුන් දැනුවත් කරනවා. ඒ වගේම ප්‍රතිකාර අවශ්‍ය අය සෞඛ්‍ය අංශ වෙත යොමු කිරීමට අදාල සම්බන්ධීකරණ කාර්යයත් අපි සිදු කරනවා” යැයි පැවසූ චමිලා තුෂාරි මෙහිලා සෞඛ්‍ය බලධාරීන්ගේ ඉදිරිපත් වීම සහ කැප වීම අගය කරන බව ද පැවසුවාය.  

Leave a comment

  1. Da Bindu Healthcare Services. Concession for courageous women in the free trade zone – Dabindu Collective
    Permalink
This website uses cookies to improve your web experience.