Skip links

ඩා බිඳු සාමූහිකයට අලුත් මුහුණුවරක්, වෘත්තීය සමිතියක් ලෙස නව ජවයක්

කම්කරු අයිතීන් උදෙසා කළ වසර 37ක අනවරත අරගලයක ප්‍රථිඵලයක් ලෙස ඩා බිඳු සාමූහිකයට වෘත්තීය සමිතියක තත්ත්වය හිමි වෙයි.

කටුනායක හා දිවයිනේ සෙසු නිදහස් වෙළඳ කලාපවල ශ්‍රමිකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටි ඩා බිඳු සාමූහිකය පසුගිය දශක හතරකට ආසන්න කාලය තුළ වෘත්තීය අරගල බිම තුළ වැදගත් කාර්ය භාරයක් ඉටු කරන ලදී. නිදහස් වෙළඳ කලාපීය ශ්‍රමිකයන්ගේ වැටුප් අරගල ආදියෙහිදී කැපී පෙනෙන භූමිකාවක නිරත වූ ඩා බිඳු සාමූහිකය රොෂේන් චානක වැනි කම්කරුවන් ඝාතනයට හා හිංසනයට ලක් වූ අවස්ථාවල ඔවුන් උදෙසා වන නීති කෘත්‍යයන් හිදී පවා පෙරමුණ ගත්තේය. එසේම සේවක අයිතීන් උදෙසා හාම්පුතුන් සමග සාකච්ඡා කිරීමට හා බලධාරීන්ද ඇතුළත් ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවලදී මැදහත්කාරක වගකීම ඉටු කළ අවස්ථා බොහෝ ගණනකි.

දේශීය වශයෙන් කම්කරු දෙපාර්තමේන්තුව සමග සේවක අයිතීන් පිළිබඳ යාවත්කාලීන වූ සාකච්ඡාවලට ලැබුණු ඩා බිඳු දායකත්වය කැපී පෙනෙන අතර අන්තර්ජාතික වශයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා වෙනත් සංවිධාන ගණනාවක් හා සහයෝගයෙන් කටයුතු කිරීමේදී මෙරට ශ්‍රමිකයන්ගේ අයිතීන් අහිමි වූ අවස්ථාවල ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට අවස්ථාව උදා විය.

පසුගිය දශකයේදී ඩා බිඳු සාමූහිකය සිය ගමන් මගේ කැපී පෙනෙන සැතපුම් කණුවක් පසු කරමින් යුද්ධයෙන් විපතට පත් ව තිබූ උතුරු නැගෙනහිර පළාත්වල ඇගළුම් ආයතන ශ්‍රමිකයන් හා සබඳතා ගොඩ නගා ගැනීම ඉතා වැදගත් අවස්ථාවකි. විශේෂයෙන් ලංකාවේ උතුරේත් දකුණේත් කාන්තා ශ්‍රමිකයන් අවවරප්‍රසාදිත හා ආන්තික තත්ත්වයකට පත්ව තිබියදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වන්නට ලැබීම සුවිශේෂීය. පසුගිය කාලය මුලුල්ලේ මෙරට ජාතික කම්කරු උපදේශන සභාවේ කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ කිසිම වෘත්තීය සමිතියකට නියෝජන හිමිකම හෝ ලැබී තිබුණේ නැත. එවැනි පසුබිමක මේ අන්දමට වෘත්තීය සමිතියක් ලෙස ලියාපදිංචි වීමට ලැබීම මහඟු අවස්ථාවක් ලෙස ඩා බිඳු සාමූහිකය සළකයි.

කාන්තාවන් නිසි පරිදි සංවිධාන ගත කිරීමට ශක්තිමත් වෘත්තීය සමිතියක් නොතිබීමේ හිදැසද මේ තුළින් සම්පූර්ණ වේ. පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළදී කාන්තා ශ්‍රමිකයන් ඇතුළු බොහෝ ඇගළුම් සේවකයන් වෘත්තීයමය වශයෙන් තදබල පීඩාවන්ට පත් වූ අතර ඔවුන් උදෙසා සහන සැපයීම ඇතුළු දැවැන්ත මෙහෙවරක නිතර වීමට ඩා බිඳු සාමූහිකයට හැකියාව ලැබුණි. මේවන විට වෘත්තීය සමිතියක් ලෙස ලියාපදිංචිව සිටින නිසා එවැනි පීඩාකාරී අවස්ථාවල වඩාත් ජවසම්පන්න අරගලයක නිරත වීමට අවස්ථාව උදා වේ.

ඩා බිඳු සාමූහික සංගමයේ ලියාපදිංචි අංකය 9491

Leave a comment

  1. A new face to the Da Bindu Collective, new energy as a trade union – Dabindu Collective
    Permalink
This website uses cookies to improve your web experience.