කටුනායක හා අනෙකුත් නිදහස් වෙළඳ කලාපවල මෙන්ම උතුරේත් ඇඟලුම් හා වෙනත් කර්මාන්තවල ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අදාල ආයතන ප්‍රමාණවත් වගවීමෙන් යුක්තව කටයුතු නොකරන බව ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් ප්‍රධානී චමිලා තුෂාරි පවසනවා. මේ වන විට කොවිඩ්-19 රෝගයට ගොදුරු වන සේවක පිරිස ඉහළ යද්දී ඔවුන් වෙත නිවාඩු ලබා දීමට හෝ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව සැපයීමට පියවර ගෙන නැති බවයි ඇය පවසන්නේ. මේ පවතින තත්ත්වය ගැන, චමිලා තුෂාරි පළ කළ අදහස්.
මේ අවස්ථාවේ පනවන සංචරණ සීමා, ලබාදෙන නිවාඩු ආදිය නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමිකයන්ට බලපාන්නේ කොහොමද?
රට ලොක්ඩවුන් කළත් ආයතන වැඩකිරීම අනිවාර්යයි. අත්‍යවශ්‍ය සේවා හැටියට ඒවා පිළිගන්නවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. කීදෙනෙක් පොසිටිව් වුණත් වැඩ කරන එක අනිවාර්ය කරලා තියෙනවා. සංචරණ සීමා තිබ්බත් ඒ අයට යන්න පුලුවන් කියලා බලධාරින් කිව්වා. උතුරේ එක සිදුවීමක් වුණා. මුලතිව් සිට කිලිනොච්චියට සේවකයින් ප්‍රවාහනය කරන බස් වගයක් නම් නැවැත්තුවා. පිරිසකට කොවිඩ් ආසාදනය වීම නිසා. නමුත් පොදුවේ ගත්තම මේ ළමයින්ට නිවාඩු දෙන්න ඕන. සංචරණ සීමා භාවිතා කරල ඔවුන් ගම්වලට යන එක වළක්වන්න පුලුවන්නෙ. නිරෝධායන කටයුතු කරලා.
වෙළඳකලාපවල කර්මාන්ත ශාලා විවෘත කර තැබීම නිසා මතුවන්නේ මොන වගේ අයහපත් තත්ත්වයක්ද?
අනෙක් රාජ්‍ය හරි පුද්ගලික ආයතනවල හරි ගෙන්වන්නෙ සේවකයෝ සියයට 25. මේ කම්හල්වල එහෙම කළේ මුල් කාලෙ විතරයි. දැන් එහෙම නොකරන නිසා බරපතල තත්ත්වයක් මතු වෙනවා. සියයකට පීසීආර් කළොත් විසිපහක්වත් පොසිටිව් වෙනවා. සියලුම වෙළඳ කලාපවල තත්ත්වය බරපතල වෙමින් තියෙනවා. එක කම්හලක 2500ක සේවක පිරිසෙන් හාරසියයක් පොසිටිව් වුණා. දවස් දෙකකට උඩදි. බියගම පවා දවසකට දෙතුන් සියය පොසිටිව් වෙනවා. බියගම එක ප්‍රදේශයක් ලොක්ඩවුන් කළා. ඒ තියෙද්දි ළමයි වැඩට යන්න ඕන. නවාතැන් ස්ථානවලත් ප්‍රශ්න. කලිං වගේ නිරෝධායන වෙන ස්ථානයකි කියල කොළයක්වත් අලවන්නෙ නැහැ. එහෙම වුණාම රෝගය පැතිරෙන්න පුලුවන්. මොකද එක බෝඩිමක කර්මාන්ත ශාලා කිහිපයක සේවකයෝ ඉන්න පුලුවන්. රෝගය වැළඳුනාම මේ පිරිස ගෙනියන්නෙ යාපනය වගේ ඈත තැන්වලට. ඒ තැන්වල පහසුකම් අඩුයි. දවස් කිහිපයකින් නැවත ගෙනැල්ල දැම්මම බෝඩිම්වල අනෙක් අයටත් ගැටලු මතු වෙනවා. නිසි ප්‍රතිපත්තියක් නැති එකයි ගැටලුව.
සේවා මුර ක්‍රමයකට ඔවුන්ගේ සේවය ලබා ගත්තොත් රැකියා සහ ආර්ථිකය කළමනාකරණය කර ගන්න පුලුවන්ද?
බැහැ. සේවා මුර ක්‍රමය අසාර්ථකයි කියල පෙනුනා. ගිය අවුරුද්දෙ නොවැම්බර් 13 ජාත්‍යන්තර කම්කරු සංවිධානය ආණ්ඩුවේ බලධාරීන්ට කිව්වා හැම ආයතනයකම කොවිඩ් නිවාරණ සෞඛය කමිටු පිහිටුවන්න කියලා. ඒ අනුව කටයුතු කරලා තිබ්බෙ ආයතන දෙකයි. අනෙක් තැන්වල ඒකනෙ ප්‍රශ්න මතු වුණේ. නියමිත මීටරයේ පරතරයවත් තිබ්බෙ නැහැනෙ. දවස් තුනකට සැරයක්වත් විෂබීජහරණය කරන්නෙ නැහැ. ලයින් එකක කෙනෙක් ලෙඩ වුණොත් ආසන්න කෙනා විතරයි අයින් කරන්නෙ අනෙක් අය වැඩ. හැමෝම කැන්ටිමට යන්නෙ එකට බස් එකට එන්නෙ එකට. බස්වල අවශ්‍ය පරතරය නැහැ. බෝඩිමේ සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නැහැ. පොදුවේ තමයි වැසිකිළි භාවිතා කරන්නේ. අවුරුද්දක අත්දැකීම්වලින් අපි පාඩමක් ඉගෙන ගෙන නැහැ.
මොකක්ද ඔබ මේ සඳහා යෝජනා කරන විසඳුම?
විසඳුම තමයි කිසියම් සුදුසු කාල සීමාවක් වැටුප් සහිත නිවාඩු දීලා කර්මාන්ත ශාලා වසා තැබීම. නැතිනම් නියමිත ප්‍රමිතීන් සම්පාදනය කරලා සේවකයින්ට නවාතැන් පහසුකම් එහෙමත් කර්මාන්ත ශාලා තුළ දීලා ඒවා පවත්වා ගෙන යන එක. නිරෝධායන ක්‍රියාවලිය අදාල දිස්ත්‍රික්කය තුළ කරන්න ඕන. වැඩි පිරිසක් ලෙඩ වෙලා මරණයට පත් වුණොත් කර්මාන්තය කොහොමවත් පවත්වා ගෙන යන්න බැහැනෙ. කර්මාන්ත ශාලා තුළම නවාතැන් දුන්නොත් රෝගය වෙනත් කර්මාන්ත ශාලාවලට පැතිර යන්නේ නැහැ. මං දන්න එක ළමයෙක් කොවිඩ් පොසිටිව් වුණා. එයා නිරෝධායනට යොමු කළේ නැහැ. ඒ බෝඩිමේ ඉන්න වෙනත් ආයතනවල සේවය කරන අයට ඇය සමග නාන ළිඳ, වැසිකිලිය බෙදාගන්න සිද්ධ වුණා. මේ සමහර බෝඩිම්වල දරුවො, ගර්භනී මව්වරු ඉන්නවා. එහෙම තැනක 40ක් පොසිටිව් වුණා. අපි කියන්නේ මේ පාර නම් ආයතන තමන්ගේ සේවක පිරිස් ගැන වගකීම ගන්න ඕන. දැන් අපි කරන්නෙ අස්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ වැඩක්. තව අසාධාරණයක් තමයි නිරෝධානයට යොමුවෙන ළමයි නැවත වැඩට ආවම ඒ හිටපු දවස්වලට එයාගෙ වැටුප් කපා දමන එක. ඒක හරිම අමනුස්ස වැඩක්.
සටහන – ලසන්ත ද සිල්වා