“මං මේ අම්මාගෙන් සමාව ඉල්ලනවා. එදා පහර කෑමට ප්‍රචණ්ඩත්වයට ගොදුරු වුණු හැමදෙනාගෙන්ම මං සමාව ඉල්ලනවා” පුරවැසි ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු හැඟුම්බරව පැවසුවේය.  ඒ පුරවැසියෙකු, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ය. දස වසරකට ඉහත සිදු වූ රොෂේන් චානක ඝාතනය හා වෘත්තීය අයිතිවාසිකම් සටන මර්ධනය කළ කෲර ස්වභාවය පිළිබඳව පැවැත්වුණ අනුස්මරණ වැඩසටහනකදී බ්‍රිටෝ ප්‍රනාන්දු සිය කම්පනීය අත්දැකීම් ඉදිරිපත් කළේය. මාර්ගගත වැඩසටහනක් ලෙස පැවැත් වූ එම වැඩසටහනට රොෂේන් චානකගේ මවද එක්ව සිටීම විශේෂත්වයකි. 

 2011 වසර ආරම්භයේ සිටම ලංකාවේ කම්කරු ව්‍යාපාරය උණුසුම් මුහුණුවරක් ගත්තේ එවක පැවති රජය ශ්‍රමික අයිතීන් උදුරා ගැනීම සඳහා ගෙන ඒමට නියමිතව තිබූ නව නීතියක් හේතුවෙනි. නිදහස් වෙළඳ කලාපය ඇතුළුව සමස්ත පුද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන බව පවසමින් දියත් වූ වැඩපිළිවෙලක ගමනාන්තය ඔවුන්ගේ අර්ථසාධක අරමුදල අපහරණය බව තතු දත්තෝ ප්‍රකාශ කළහ.

රජයේ එම වැඩපිළිවෙලට එරෙහිව දසතින් විරෝධතා නැගෙන්නට වූ අතර ප්‍රමුඛ වූයේ කටුනායක හා තදාසන්න නිදහස් වෙළඳ කලාපවල සේවකයන්ගේ උද්ඝෝසනයයි. තිස්දහසක පමණ මහා බලමුලුවක් ලෙස වෘත්තීය සමිති හා සිවිල් සංවිධානවල මෙහෙයවීම ඇතිව වීදි බට සේවකයන්ගෙන් කටුනායක එකම හිස් ගොඩක් වූයේ 2011 මැයි මස 30 වැනිදා ය.  ඔවුන්ගේ එකම ඉල්ලීම වුයේ තමන් ඉල්ලා නොසිටින විශ්‍රාම වැටුපකට මුවා ව තම අර්ථසාධක ඉතුරුම් මංකොල්ල කෑමෙන් වළකින ලෙසයි.  මේ සාමකාමී හා ආයුධ විරහිත විරෝධතා ව්‍යාපාරය උණුසුම් වන්නට පටන් ගත්තේ රජය සන්නද්ධ පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ එය පාලනය සඳහා එවීම සමගයි. එහිදී සුලු ගැටුම් තත්ත්වයක් උද්ගත වූ අතර පොලීසියද එහි පැමිණි ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මැරයන්ද නිරායුධ කම්කරුවන්ට අමානුෂික ලෙස පහර දෙන්නට පටන් ගත්හ. එහිදී වෙඩි තැබීම් සිදු වූ අතර රෝෂේන් චානකට වෙඩි වදින්නේද ඒ සමග ය. 

පහර කෑමට ලක් වූ තරුණියක් රෝහලේදී
රෝෂේන්ගේ අවමගුලද රාජ්‍ය මැදිහත් වීම් මැද සිදු විය.

“30 වැනිදා හවස අපිට කෝල් එකක් ආවා පුතාට වෙඩි වැදිලා කියල. රෑ හතට විතර අපි රාගම ඉස්පිරිතාලෙට ගියා පුතා බලන්න. 31 කිව්වා දරුවගේ කකුල කපන්න වෙනවා කියලා. අපි ඒකට කැමති වුණා. 01 වැනිදා අපිට පණිවිඩය ලැබුවා පුතා මරණයට පත් වුණා කියලා” සිදුවීම ගැන එසේ මතකය අවදි කරන්නේ රොෂේන්ගේ මව  ය. ඇය පවසන අන්දමට සිදුවීමෙන් දින කිහිපයකට පසු ඔවුන් කැඳ වූ ජනාධිපතිවරයා රොෂේන් ඇතුළු හිංසනයට ගොදුරු වූ සැමට වන්දි පිරිනැමීමටද, අධිකරණ ක්‍රියාවලියක් තුළින් යුක්තිය ඉටු කිරීමටද පොරොන්දු වී ඇත.  සිද්ධිය සම්බන්ධයෙන් නඩු දෙකක් පැවරුණු අතර එක් නඩුවක් එකල යුක්ති විරහිතව අවසන් විය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුව පැවරූ නඩුව තවමත් විභාග වෙමින් පවතී.  සුවිශේෂී කරුණක් වන්නේ සිදුවීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ ඒකපුද්ගල කොමිසමයි.  හිටපු විනිසුරු මහානාම තිලකරත්න කොමිසමේ එකම සාමාජිකයා වූ අතර ඔහු ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් නිර්දේශ මේ දක්වා ක්‍රියාත්මක වී නැත. රොෂේන් වෙනුවෙන් යුක්තිිය ඉටු කරවා ගැනීම උදෙසා මාස 68ක් පුරාවට පැවති විරෝධතා අවසන මහානාම තිලකරත්න වාර්තාව පරිශීලනය සඳහා ලබා ගැනීමද වෙනමම අරගලයකි. ඩා බිඳු සාමුහිකයේ චමිලා තුෂාරි සහ රොෂේන්ගේ මව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් ප්‍රතික්ෂේප වූ අතර පසුව තොරතුරු කොමිසමේ මැදිහත්වීම මත එය ලබා ගන්නට පුලුවන් විය.

යහපාලනයත් කරපු දෙයක් නෑ

“මේක සම්බන්ධ අවාසනාවන්ත තත්ත්වය තමයි දේශපාලනඥයො මේ ඝාතනය සහ එදා සිදු වූ හිංසන වාසියට යොදා ගැනීම” සමාජ ක්‍රියාධර සරත් ඉද්දමල්ගොඩ පියතුමා එලෙස පැවසුවේය. “යහපාලන ආණ්ඩුවත් බලයට එද්දි මේවා ගැන හොයා බලනවා කියලා පොරොන්දු වුණා. හැබැයි බලයේ හිටපු අවුරුදු පහේදී යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කිසිම වැදගත් පියවරක් ගත්තේ නැහැ. එදා සිදු වුණුු අරගල හරිම වැදගත්. මොකද ඒකෙන් තමයි මේ දහස් ගණනක් සේවකයන්ගේ අයිතීන් රැකුණේ. හැබැයි මේ සමාජය ඒ වෙනුවෙන් යුක්තිය ඉටු කළේ නැහැ” පියතුමා කම්පාවෙන් පැවසුවේය.

“දැන් පුතා  මරලා අවුරුදු දහයක්. වන්දි නෙවෙයි කාරණාව ඒ මරා දැමීම වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ වුණේ නැහැ. අම්මා කෙනෙක් විදියට මට තියෙන්නේ ඒ වේදනාව. එදා පහර කෑමට ලක් වුණු දරුවො කාටවත් යුක්තිය ඉටු වුණේ නැහැ. සමහරුන්ට රස්සා නැති වුණා” රොෂේන්ගේ මව සිය කම්පාව පළ කළේ එසේය. 

නිදහස් වෙළඳ කලාපයේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ගණනාවක් මේ අනුස්මරණ වැඩසටහනට එක් විය.  එහිදී අදහස් දැක් වූ ඩා බිඳු සාමූහිකයේ චමිලා තුෂාරි පැවසුවේ දසවසරකට ඉහත සිදු වූ මේ සිදුවීම ලංකාවේ වෘත්තීය සටන් ඉතිහාසයේ අඳුරු දිනයක් බවයි. “පොලීසිය විතරක් නෙවෙයි එදා දේශපාලකයන්ගේ මැරයොත් කම්කරුවන්ට ගහන්න හවුල් වුණා.  ඔවුන් කාන්තාවන්ටත් අමානුෂික ලෙස පහර දුන්නා. මට මතකයි මාස දෙකක ගැබිණියකගේ උදරයට පොලීසිය පයින් පහර දුන්නා. ඇයට කුසේ හිටිය දරුවා අහිමි වුණා. ඊටපස්සේ කවදාවත් දරුවො ලබන්න බැරි වුණා. දරුවන් නැති නිසා පස්සෙ ස්වාමි පුරුෂයා ඇයව දාලා ගියා. මේ වගේ කතා රාශියක් එදා සිද්ධ වුණා. ඔවුන් කිසි කෙනෙකුට යුක්තිය ඉටු වුණේ නැහැ.”

මෙම සංවාදයට වාණිජ හා කාර්මික සේවක සංගමය, වමේ හඬ, රෙඩ්, රෙදිපිළි, ඇගලුම්, නිමි භාණ්ඩ හා කර්මාන්ත කම්කරුවන්ගේ සංගමය, ශ්‍රමාභිමානී කේන්ද්‍රය, ස්ටෑන්ඩ් අප් මූව්මන්ට්, විමුක්ති ව්‍යාපාරය, ඇතුළු සංවිධාන ගණනාවක් සහභාගී වූහ. ඔවුන් සියලු දෙනා යුක්තිය උදෙසා මෙම අරගලය ඉදිරියට ගෙන යාමට සපථ කළහ.

ලසන්ත ද සිල්වා  

What's your reaction?
1Cool0Upset0Love0Lol

Add Comment

to top