1984 සැප්තැම්බර් මස ඩා බිඳු සාමූහිකයට තිඹිරි ගෙය වූයේ කටුනායක කතෝලික පල්ලිය යි. එම පල්ලියේ දේව සේවයට කැප ව සිටි ගරු විවින් ප්‍රනාන්දු කන්‍යා සොයුරිය වෙළෙඳ කලාපයෙ කම්කරු ස්ත්‍රීන්ට සිදුවන අසාධාරණකම් වලට සවන් දීම නිසා ඩා බිඳු සාමූහිකය බිහි වන්නට පදනම නිර්මාණය විය. අසාධාරණයට හා හිංසනයට ලක් වූ ශ්‍රමික කතුන් වෙනුවෙන් නීති හා වෛද්‍ය සායන පැවැත්වීම පමණක් නොව ඔවුන්ට පුස්තකාල පහසුකම්, නිරාවරණ වැඩසටහන් වෙනත් අය සමඟ අත්දැකීම් බෙදා ගැනීම්, ස්ත්‍රීන්ට අදාල ගැටළු පිළිබඳ අත් පත්‍රිකා බෙදීම ආදිය මේ මුල් කාලයේ වැඩ ලැයිස්තුවේ අංග විය. එසේම, වෙළෙඳ කලාපය තුල සිදුවන ව්‍යසනයන් පිළිබඳව ප්‍රදර්ශන කටුනායක පල්ලිය අසල සුලබ දසුනක් විය.

මේ පියවර මතින් ඩා බිඳු පුවත්පතද උපන්නේ ය. වෙළඳ කලාපය තුළ සිදුවන අසාධාරණය ලොවට හඬගා පැවසීමට ඉන් අවස්ථාව උදා විය. එමෙන්ම ඩාබිඳු පුවත්පත හරහා කම්කරුවන්ගේ නිර්මාණ හැකියාවන් එළිදැක්වීම ඔවුන්ගේ නිපුණතාවන් උද්දීපනය වන ආකාරයේ වෙනත් ක්‍රියාකාරකම් වෙත යොමු කිරීමද සිදු විය.

මූල්‍ය ආධාර සපයන සංවිධාන සමඟ එකතුවීම, සහයෝගීතා කමිටු පිහිටුවා ගෙන කම්කරුවන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීම, වෘත්තීය සමිති සමඟ සම්බන්ධ වීම, මැයි දින ස්ත්‍රී සමරුම් වලට දායකත්වය ලබාදීම යනාදිය හා විදෙස් රටවල් වල පවතින ස්ත්‍රී කම්කරුවන්ගේ සම්මන්ත්‍රණ වැඩමුළුවට සහභාගිත්වයෙන් දැනුම හා අවබෝධය වර්ධනය කර ගැනීමට අවස්ථා ලබා ගැනීමට හැකි වීම, ඩා බිඳු සාමූහිකය මේ කාලය තුළ උගත්තේය.

සමන්මලී ඩා බිඳු සමූහයට සවියක් වෙමින්

ඩා බිඳු ආරම්භක පොකුරේ එච්. අයි සමන්මලී අද ද ඉමහත් ශක්තියක් වෙමින් සංවිධානයට මඟ පෙන්වන්නියයි. ඇය පවසන්නේ, ඩා බිඳු සාමූහිකය යනු පසුගිය තිස් අට වසරක් පුරා කටුනායක වෙළඳ කලාපය තුළ සේවය කරන ස්ත්‍රී කම්කරුවන් ගේ හඬ බාහිර ලෝකය වෙත ගෙන ආ සමාජ ව්‍යාපාරය බවයි. ස්ත්‍රී කම්කරුවන්ට එදිනෙදා විඳින්නට සිදුවන ගැටලු වලට සාධාරණයක් ඉටු කරන ලෙස කළමනාකරණය වෙත බල කරමින් කම්කරු ස්ත්‍රීන්ට විදින්නට සිදු වූ විවිධ ප්‍රචණ්ඩත්වයට හා බලහත්කාරකම් වලට එරෙහි වෙමින් ගමන ආරම්භ කළ කුඩා ස්ත්‍රී කණ්ඩායමක් ප්‍රයත්නය ඩා බිඳු  සාමූහිකයයි.

1977 ලංකාවේ බලයට පත් වූ ජේ.ආර් ජයවර්ධන රජය දැඩි ලෙස කම්කරු අයිතීන් පාගා දමා, විදේශීය ආයෝජකයින් රටට ගෙන්වා ලාභ ශ්‍රමය ට වැඩ ගන්නට සැලසුවේය. ලංකාවේ පිහිටි බලාත්මක වූ කම්කරු නීති සහ විශේෂයෙන්ම වෘත්තීය සමිති තැනීමේ සහතික කළ නීති ද සුනුවිසුනු කර දමන්නට ඔවුන් කටයුතු කළේය. 1980 ජූලි වැඩ වර්ජනය මර්දනය කිරීමෙන් ආරම්භ වූ එහි කම්කරු පංති සංහාරයේ එක් ප්‍රතිඵලයක් වූයේ ඒ දක්වා පැවතුනු ප්‍රධාන ධාරාවේ වෘත්තීය සමිති බෙලහීන කිරීමයි. මේ අතීතය ආවර්ජනය කරන සමන්මලී පවසන්නේ, 1980 දශකයේ ආරම්භක සමයේ දියත් වූ මර්ධනය ඩා බිඳු සාමූහිකය බිහිවීමට අඩිතාලම දැමූ බවයි.

පසුකාලීනව, ජනවාර්ගික අයිතිවාසිකම්, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය ප්‍රවර්ධනය සඳහා විවිධ පාර්ශව සමග කටයුතු කිරීමට ලද අවස්ථාවන්ද සංවිධානයට ජවයක් වූ බව සමන්මලී පවසන්නී ය.

“මේ වෙද්දි ඩා බිඳු සාමූහිකය කියන්නේ වෘත්තීය සමිතියක් ලෙසත් ලියාපදිංචි වුණ සංවිධානයක්. අපිට ඒ නිසා වඩාත් ශක්ති සම්පන්නව කම්කරුවන්ගේ විශේෂයෙන්ම කම්කරු ස්ත්‍රීන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න පුලුවන්. ඒ මැදිහත් වීම අපි කටුනායකදි, බියගමදි විතරක් නෙවෙයි උතුරු නැගෙනහිරදිත් කරනවා.” එසේ පවසන්නේ ඩා බිඳු සාමූහිකයේ වැඩසටහන් නිලධාරිනිය චමිලා තුෂාරි ය.  සිය සංවිධානය දශක තුනක් තිස්සේ කම්කරු කතුන්ගේ ජීවන තත්ත්වය වඩා සුවදායක කිරීමේ අරගලයට දායක වෙමින් සිටියදී තවමත් සූරා කෑම සිදුවන බව චමිලා තුෂාරි පවසයි. “මේ වසංගත කාලෙදිත් කටුනායක වගේ නිදහස් වෙළඳ කලාපවල වැඩකරන කාන්තාවො සැළකුණේ දෙවන පෙළ පුරවැසියො ගානට. අපි දිගටම කෑ ගහනවා සිද්ධ වෙන අසාධාරණයට විරුද්ධව. ඒ වගේම බලධාරීන් මුණ ගැහිලා විසඳුම් සොයන්න. නීති ප්‍රතිපත්ති සම්පාදනය දායක වෙන්න, ජාත්‍යන්තර මැදිහත් වීම් ඉල්ලා අපි ක්‍රියා කරමින් ඉන්නවා. මේ හැමදේම අපි කරන්නේ කම්කරු අයිතීන් වෙනුවෙන්.” යැයි ඇය පවසන්නීය.

ජයනි, ඩා බිඳු සාමූහිකයේ සේවය කරන්නේ කාලයක සිට ය. ඇය පවසන්නේ ඩා බිඳු සාමූහිකය කම්කරු කාන්තාවන් වෙනුවෙන් සිදු කරන සුබ සාධන සේවාවන් කිසිසේත් අමතක කළ යුතු නැති බවයි. “පහුගිය දවස්වල අසරණ වුණ හුඟක් කම්කරු ස්ත්‍රීන් වෙනුවෙන් කන බොන දේවල්, සනීපාරක්ෂක අවශ්‍යතා ලබා දෙන්න අපි කටයුතු කළා. එහෙම අපි නොකළ නම් සමහරු ඉතාම අසරණ වෙනවා. යැයි ජයනි පවසයි. ඇය පෙන්වා දෙන්නේ නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමික කතුන්ගේ සනීපාරක්ෂාව විශේෂයෙන්ම ප්‍රජනන සෞඛ්‍ය ආදී ගැටලු නිවාරණය වෙනුවෙන්ද ඩා බිඳු විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටින බවයි. ඒ අතරට ශ්‍රමික පිරිස්වල දැනුම ප්‍රවර්ධනය සඳහා දියත් වන වැඩසටහන්ද තිබේ. එහිදී විවිධ ක්ෂේත්‍රවලට අදාලව දැනුම ප්‍රවර්ධනය සිදු කරයි. “මේ අරගලය නොනවතින අරගලයක් අපිට ඉදිරියටත් කලාපයේ කම්කරු පිරිස වෙනුවෙන් පෙනී සිටින වගකීමක් තියෙනවා” යැයිද ඇය පැවසුවාය.

බ්‍රිටෝ ප්‍රනාන්දු

“ඒ කාලේ තිබුණු අන්තිම නරක තත්ත්වයන්ට එරෙහිව තමයි ඩා බිඳු වගේ සංවිධාන පෙරට ආවෙ. මුල් කාලේ කම්හලක් ගාව පත්‍රිකාවක් බෙදන්න ආපු විවියන් ගුණවර්ධනත් පොලීසිය අත්අඩංගුවට ගත්තා.” ඒ සමාජ ක්‍රියාධාර බ්‍රිටෝ ප්‍රනාන්දු ගේ මතකයයි. “අපි තමයි ඒ ප්‍රවණතාවට එරෙහි වුණේ. ඒ කියන්නේ ඩා බිඳු ඇතුළුව තවත් සංවිධාන. මට මතකයි අපි බලෙන් පත්‍රිකා බෙදලා ඒ තත්ත්වය නැති කරන්න ආරම්භක පියවරක් ගත්තා. මාවත් එදා අත්අඩංගුවට ගත්තා. ස්ටාර් ගාමන්ට් එකේ ළමයෙක් කවියක් ලියලා රස්සාව නැති වුණාම දැවැන්ත විරෝධතාවක් කරන්න අපිට පුලුවන් වුණා. අන්තිමට ඒ ළමයට රස්සාව නැවත ලැබුණා. බ්‍රිටෝ ප්‍රනාන්දු එලෙස මතකය ආවර්ජනය කරයි. “ඒ කාලේ ළමයින්ට වැසිකිළි යන්න අවසර දෙන සහ වාර ගණන සීමා කළ කාඩ් එකක් තිබ්බා. ඒකට ළමයි කිව්වේ චූ කාඩ් එක කියලා.” ඒ වගේ අන්තිම නරක දේවල් අහෝසි කිරීම මේ සටන්වල ප්‍රතිඵල වුණා.  මේ හැම සටනකටම දායක වුණ ඩා බිඳු සාමූහිකයට මම සුබ පතනවා” යැයි බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි. ඒ අතර ඔහු පෙන්වා දෙන්නෙ නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමිකයන් තවදුරටත් ප්‍රගතිශීලි අරමුණෙන් සංවිධානය විය යුතු බවයි.

රෝෂිණී වැනි යුවතියන් ඩා බිඳු ඇසුරේ උගත් දේ බොහෝ ය.

රෝෂිණී වීරසිංහ බණ්ඩාරවෙල සිට වෙළඳ කලාපයේ සේවයට පැමිණි යුවතියකි. ඇය පවසන්නේ, තමන් වැනි ආගන්තුක ශ්‍රමිකයන්ට අතරමං වන්නට නොදී රැක බලා ගැනීමේ ගෞරවය ඩා බිඳු සාමූහිකය වෙත හිමි වන බවයි. “අපිට ඇත්තටම අපේ අයිතිවාසිකම් ගැන, කම්කරු නීති ගැන කියලා දුන්නේ ඩා බිඳු සාමූහිකය. ඒ විතරක් නෙවෙයි ආරක්ෂිතව ගෞරවයක් ඇතිව ජීවත් වෙන හැටිත්. ඒ හින්දා තමයි අපි ඩා බිඳු සාමූහිකයට සුබ පතනවට අමතරව ආදරය කරන්නේ” යැයි රෝෂිණී පවසන්නීය.

What's your reaction?
2Cool0Upset0Love0Lol

Add Comment

to top