2025 නොවැම්බර් 12 වන දින වයස අවුරුදු 77 දී අපෙන් සමුගත්, ඩාබිඳු සාමූහිකයේ අපගේ ආදරණීය මව වූ එච්. අයි. සමන්මලීගේ නික්මයාම පිළිබඳව අපගේ බලවත් සංවේගය මෙසේ පළ කර සිටිමු. සමන්මලී සහෝදරිය යනු ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදය පරිවර්තනය කළ කම්කරු ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ ස්ත්‍රීවාදී ක්‍රියාකාරීනියකි. 1984 ඩාබිඳු සාමූහිකයේ ම නිර්මාතෘවරිය ඇයයි. මෙම ප්‍රකාශය නිකුත් කරනු ලබන්නේ ඩාබිඳු සාමූහිකයේ ආරම්භකවරියගේ මතකයට ගෞරව දැක්වීමටත්, ඇයගේ වටිනා සේවය පිළිඹිබු කිරීමටත්, ඇයගේ කැපවීම හා අධිෂ්ඨානය ඇගයීමට මෙන්ම ඇය ගොඩනැගු ශක්තිය ඉදිරියට ගෙනයාම සනිටුහන් කිරීමටත් ය.
1948 පෙබරවාරි 16 වන දින පුරුෂාධිපත්‍ය මූලික කරගත් සමාජයක් තුළ උපන් ඈ, පී. කේ. සෝමපාල සහෝදරයා සමඟ යුග දිවි පටන් ගත් දා පටන් සමාජශීලී දිවියකට උරුමකම් කියන්නේ දරුවන් සිව්ව්දෙනෙකුගේ මවක් ලෙස ඇගේ භූමිකාව තුළ සිටිය දීමය. සෝමපාල සහෝදරයා තුළ වූ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කිරීමේ ශක්තියට ඇය ඇගේ උපරිම දායකත්වය ලබා දුන්නේ කම්කරු සටන්වල කාන්තාවන් උදෙසා නායකත්වය ලබා දෙමින් ය. ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) සාමාජිකයෙක් වූ ඇගේ සැමියා, සෝමපාල සහෝදරයා. විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයේද සාමාජිතයෙක් විය. ඒකල කාර්මික ජනපදය අසල පදිංචිව සිටි ඔවුන්ගේ නිවස නිරන්තරයෙන් කම්කරුවන්ගෙන් පිරි ඉතිරි තිබුණේ ඔවුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ග වල ඉදිරි පියවරයන් පිළිබඳව සාකච්ජා කිරීමට හොඳම තෝතැන්න එහි වූ නිසාවෙනි. දුදරුවන්ගේ කෑමබීම ටික සකසා දී ඔවුන් පාසල් යැවීමට කටයුතු සුදානම් කළ සමන්මලී සහෝදරිය නිවසේ රැස්වීම් වලට පැමිණි පිරිසට සංග්‍රහ කිරීම මෙන්ම අරගලබිම තුළ කම්කරුවන්ගේ කුසගිනි නිවාලීමට සෝමපාල සහෝදරයා සමඟ එක්ව කටයුතු කරන්නේ පටන් බිම සඳහා ඇගේ නොමසුරු දායතත්වයන් සමගිනි.
පොලිටෙක්ස්, ත්‍රිපෝෂ ආදී වැඩ වර්ජන, ලාංකීය කම්කරු ඉතිහාසය තුළ තීරණාත්මක සාධක විය. එහි දී සමන්මලී සහෝදරිය සහ සෝමේ සහෝදරයා සිය දූ දරුවන් සමඟ එක්වෙමින් කැට ව්‍යාපාරයන් සිදු කළේ. සියලුම කම්කරුවන්ගේ දිවා ආහාර ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට දුන් දායකත්වයත් සමගිනි. විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂය තුළ කාන්තා විමුක්ති ව්‍යාපාරය (WML) නමින් කාන්තා සංවිධානයක් ඇති කරන ලද්දේ ඒකල කාර්මික ජනපදයේ කර්මාන්ත ශාලාවල කාන්තාවන් සඳහා එක් වීමට සහ සංවිධානගත වීමටත් දැනුම බෙදා හදා ගැනීමටත් අවස්ථාවක් උදා කර දීම සඳහාය. ඇඟලුම් කර්මාන්ත වලත්, අපනයන සැකසුම් කලාපවලත් වන ශ්‍රම කොල්ලය, කාන්තාවන්ට එරෙහි පරපීඩනය සහ ඔවුන්ගේ ද්විත්ව ත්‍රිත්ව බර සාකච්ඡා කළ අධ්‍යයන තව සංවිධානය කිරීමේ මූලිකත්වය ගත්තේ සමන්මලී සහෝදරිය ප්‍රමුඛ කුමුදිනි සැමුවෙල්, කුමුදුනි රෝසා, ෆිලෝමිනා, මාලා රත්නසිලි, සහ මල්ලිකා යන සහෝදරියන්ය.
සුරැකුම් ශ්‍රමය සමඟින්ම සටන් තුළ ක්‍රියාකාරිනියක් ලෙස කාන්තාවන් සංවිධානය කිරීම ආරම්භ කරන ඈ පොලිටෙක්ස් වැඩ වර්ජනය තුළ කාන්තාවන් සංවිධානය කිරීම සඳහා ඇය ප්‍රගතිශීලී නායකත්වයක් දුන්නාය. බන්දු ශාන්ති, ලීලා ෆර්ඩිනැන්ඩස් සහ පද්මිණි මාතරගේ යන සහෝදරියන්ගෙන් ප්‍රමුඛ පොලිටෙක්ස් ගාමන්ට්හි වෘත්තීය සමිතියක් පිහිටුවා ගත් අතර එය 1982 දෙසැම්බර් මාසයේ සුප්‍රසිද්ධ පොලිටෙක්ස් වැඩ වර්ජනය වටා කාන්තාවන් රැස්වීමට හේතු විය. ඒ තුළ කාන්තා සේවිකාවන් හා පැය 24ම සෘජුව සම්බන්ධ වූ එකම පුද්ගලයා වුයේ සමන්මලී සහෝදරියයි.
සාම්ප්‍රදායික, පුරුෂාධිපත්‍යයක් දැරූ වෘත්තීය සමිති ව්‍යාපරය තුළ කාන්තාවන් සංවිධානය කරන්නේ කෙසේද සහ ඔවුන්ගේ සමාජභාවී ගැටළුවලට, විශේෂයෙන් ලිංගික සහ සමාජභාවී ප්‍රචණ්ඩත්වයට, ප්‍රමුඛත්වය දෙන්නේ කෙසේද යන හිඩැස පිරවීමට ස්ත්‍රී මධ්‍යස්ථානය සහ ඩාබිඳු වැනි සංවිධාන බිහි වූයේය. ඒකල කාර්මික ජනපදයේත්, කටුනායක නිදහස් වෙළඳ කලාපයේත් සමන්මලී සහෝදරියගේ දායකත්වය වර්ධනය වන විට, විනෝදාත්මක මධ්‍යස්ථාන, පුස්තකාල සහ වෛද්‍ය සහ නීති උපදෙස් සායන සංවිධාන කළ අනෙකුත් අය හා එක් වී ඇය ක්‍රියාකාරි විය. ඩාබිඳු සාමූහිකය, කාන්තා අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානය සහ කලාපේ අපි, කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් සඳහා වූ අරගලය උදෙසා මාධ්‍ය හරහා ක්‍රියාකාරිව කටයුතු කරන්නට විය.
ඒ අනුව නිදහස් වෙළඳ කලාපයේ ප්‍රථම පුවත්පත ලෙස ඩාබිඳු පුවත්පත 1984 දී ඇය ආරම්භ කළාය. එය කාන්තාවන් සඳහා දැනුම ලබා ගැනීමට, විඩාව දුරලීමට, සිය ගැටළු වලට හඬක් ලබා දීමට මහහුඟු පන්නරයක් විය. මීට අමතරව ඩාබිඳු මගින් කාන්තා අයිතිවාසිකම් හා දැනුම පුළුල් කිරීම සඳහා විවිධාකාරයේ ලිපි ලේඛන ප්‍රකාශනය කරන්නට විය. “ඩාබිඳුවෙන් නිම්තෙරට,” “ගැහැණිය,” වෘත්තීය සමිති අයිතිවාසිකම්, සමානාත්මතාවය තුළින් ස්ථිරසාර සංවර්ධනය ආදිය එයින් කිහිපයකි.
කුඩා කල පටන් සිය පවුල තුළින් ලද ආභාෂය හේතුවෙන් සමන්මලී සහෝදරිය තුළ මානවහිතවාදී ගුණධර්ම මනාව පිළිඹිබු විය. ඈ දෙමළ මුස්ලිම් ප්‍රජාවට එල්ල වූ ආගමවාදයට ජාතිවාදයට විරුද්ධව පෙනී සිටියාය. එකී ආභාෂය, ඇගේ සමාජවාදී ක්‍රියාකාරිත්වය දකුණට පමණක් සීමා නොකරමින් උතුරු ප්‍රදේශය පුරා ව්‍යාප්ත කිරීමට හේතුසාධක විය. 1981 මර්ජ් (MIRJE -Movement for Inter-racial Justice and Equality) සංවිධානය හරහා යාපනයේ පරන්තන්හි වීදුරු කම්හලක සිදු වූ වැඩ වර්ජනයට සහාය පළ කරන ලදි. නිරන්තරයෙන් කම්කරුවන් ගැවසෙන නිවසක් වීම හේතුවෙන්. 1983 දමිළ ප්‍රජා සංහාරය සමඟ සෝමපාල-සමන්මලී දෙපළ ඇතුළු සිය පවුල පොලිස් සෝදිසියටත්, මරණ තර්ජනයන්ටත් මුහුණපාන්නට විය. එසේම සමන්මලී සහෝදරිය සාමය සඳහා කාන්තාවෝ සංවිධානයත් සමඟ එක්ව සටන් විරාමය තුළ වන්නියේ වෙසෙන කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීමට ද එක් වූයේ යුද්ධයෙන් අනාථ වූ පවුල් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ යථාර්තය හෙළි කිරීම සඳහාය. උතුරත් සමඟ පැවැත් වූ මෙම සම්බන්ධතාවයන් වර්තමානයේ කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවල අඛණ්ඩව ව්‍යාප්තව පවතී.
1984 ඩාබිඳු සාමුහිකය ආරම්භ වීමත් සමඟ එවක වූ කම්කරු නීති උපදෙස් මධ්‍යස්ථානය, කම්කරු සෙවන, කලාපයේ අපි නිදහස් වෙළඳ කලාපයේ සේවකයින්ගේ ඒකාබද්ධ කමිටුව යනාදී සංවිධාන ගණනාවක් හා එක්ව කම්කරුවන්ගේ වැඩවර්ජන සහ උද්ඝෝෂණවලට සමන්මලී සහෝදරිය ඇගේ පූර්ණ සහයෝගය ලබා දුන්නාය. එසේම මෙම ඒකාබද්ධ ක්‍රියාකාරකම්වල දිගුවක් ලෙස සහයෝගීතා කමිටුව කරහා පළමු උද්ඝෝෂණය 1997 නොවැම්බර් 7 වන දින කටුනායක දී සංවිධාන හතලිස් තුනක සහභාගීත්වයෙන් පැවැත් වූයේ කලාපය තුළ වූ දරදඬු පාලනයට එරෙහිවයි. මෙය නිදහස් වෙළඳ කලාප පටත් ඉතිහාසයේ නොමැකෙන දිනයක් ලෙසින් සැලකිය හැකිය.
එමෙන්ම බියගම ඩාබිඳු ශාඛාව ඇන්සල් ලංකා කම්කරු සටන සඳහා අනෙකුත් සමාජ සංවිධාන වල සහාය ගොඩනගමින් කටයුතු කළේ සටන පිළිබඳව ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරයක් ලබා දීමත් සමගිනි. එමෙන්ම වැඩවර්ජනය හේතුවෙන් අත් අඩංගුවට පත් වූ කම්කරුවන්ට ඇප ලබා දී නිදහස් කර ගැනීම සඳහා නීති ආධාර සහ ඒ සඳහා මූල්‍ය අධාර ද ලබා දෙමින් උපරිම අයුරින් මැදිහත් වීමට ඩාබිඳු සමත් විය.
1994 – 1997 කාලය තුළ සාවිස්ත්‍රී සංවිධානය සමඟ එකතුව ඩාබිඳු සාමූහිකය ගොවි, වතු, කම්කරු, ධීවර සහ වෙළඳ කලාප තුළ සේවය කරන කාන්තාවන් බලගන්වමින් ඔවුන්ගේ හඬ ගොඩ නැගීමට මුල පුරන්නට විය. එමෙන්ම ලක්බිමේ මව්වරු සහ දියණියෝ කාන්තා සංවිධාන එකතුවක් වශයෙන් යුද්ධයට සහ භීෂණයට එරෙහිව සාමය උදෙසා විශාල මෙහෙවරක් ජාතික මට්ටමෙන් සිදු කළ අතර 1991-1992 කාල පරිච්ජේදය තුළ උතුරු නැගෙනහිර සරණාගත කඳවුරුවල දුෂ්කරතාවයන් මැද කල් ගෙවූ දෙමළ, මුස්ලිම් ජනතාව උදෙසා විශාල කර්තව්‍යක් ඉටු කළහ.
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා වීමේ (Prevention of Domestic Violence Act) පණත පාර්ලිමේන්තු පණතක් ලෙසින් සම්මත වීම ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරය විසින් ලබාගත් තවත් ජයග්‍රහණයකි. මෙය රිදී බන්දේසියක තබා පිළිගැන්වුවක් නොව මෙරට කාන්තා සංවිධාන, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සමාජ ක්‍රියාකාරින් පිරිසකගේ ප්‍රබල උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසින් දිනා ගත්තකි. මෙම පනත සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවක් කරමින් එය සම්මත කරගැනීමට මෙන්ම ක්‍රියාත්මක කිරීම අරභයා විවිධ මට්ටමේ දැනුවත් කිරීම සිදු කරමින් එයට මූලිකත්වය ගත් කාන්තා නායිකාවන්ට සහාය වීමට ලැබීම ඩාබිඳු සාමුහිකය සිහිපත් කරන්නේ සතුටිනි.
ජාතික මට්ටමින් නතර නොවූ සමන්මලී සහෝදරියගේ කම්කරු අයිතිවාසිකම් උදෙසා වූ සටන් මග ජාත්‍යන්තර මට්ටම දක්වාද ව්‍යාප්ත විය. 1991 කම්කරු කාන්තාවන් නියෝජනය කරමින් ආසියානු කාන්තා සමුළුවට ඇය සහභාගී විය. එතැන් පටන් ආසියානු කාන්තා කමිටු සාමාජිකාවක ලෙස ජාත්‍යන්තර කාන්තා අයිතිවාසිකම් සහ ප්‍රඥප්ති සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් කටයුතු කරන්නට විය. එලෙසෙම, ඩාබිඳු පුවත්පතේ ඉංග්‍රීසි පරිවර්තනය විදේශ රට වලට යැවීමෙන් කර්මාන්ත ශාලාවල පවතින ගැටලු පිළිබඳව ගැනුම්කරුවන්ට බලපෑම් කිරීමට ආසියානු පොදු වැටුප් සඳහා වූ ව්‍යාපාරය, සහ Clean Clothes Campaign වැනි සංවිධාන තුළින් අවස්ථාව හිමි වුයේ සමන්මලී සහෝදරිය කළ කැපකිරීම මතය.
මෙය ඇගේ සමාජ ක්‍රියාකාරිනියක ලෙස වූ ජීවිතයේ බිඳක් පමණි. සමන්මලී සහෝදරිය හුදෙක් ආරම්භකයෙකුට පමණක් නොව, ඇය වාමාංශික ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරයටත්, ඩාබිඳු සාමුහිකයටත් ජීවය දුන් හදවතයි. නිදහස් වෙළඳ කලාපය තුළ වූ කාන්තාවන් උදෙසා මිණිපහන ඇය විය. නිරන්තර ශක්තිය අප්‍රතිහත ධෛර්ය තුළින් ඇස තැබූ පියවර, සමස්ත ස්ත්‍රී සංහතියෙහි යෝධ පිම්මකි. කාන්තාවන් උදෙසා යුක්තිය, ඔවුන්ගේ සමානාත්මතාවය වෙනුවෙන් එතෙර මෙතෙර සිව් දිග සිසාරා ඇය නැඟූ හඬ අපමණය. එවන් වූ යුග මෙහෙවරක අවසානය සනිටුහන් කරමින් නව පහන් එළි දල්වාලමින් මිණිපහන නිවී ගොස් හමාරය, අයිතිවාසිකම් උදෙසා වූ සටන් මාවතේ පහන් තරුව,
ඇයට සුව නින්දක්.
ඩාබිඳු සාමූහිකය
(2025.11.14)
අපගේ නිල ප්‍රකාශනය කියවීමට – Official Statement_Demise of DC Co Founder_Samanmali Hettiarachchi_Sinhala
